සිවිල් ලියාපදිංචි කිරීම සම්බන්ධ තොරතුරු හා යාවත්කාලීන තොරතුරු පරිගණක දත්ත පද්ධතියකට (e- Population Register) ඇතුළත් කර, ඒ තුළින් ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළිගැනීම වැඩි කඩිනම් ප්‍රතිචාර කේතයක් ඇති මුද්‍රිත සහතිකයක් ලබාදීම.
හැඳින්වීම
උප්පැන්න, විවාහ හා මරණ ලියාපදිංචි කිරීම සදහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වගකිව යුතු වේ. ඇතුලත් කරනු ලබන වාර්තා සටහන් අයන්ත්‍රිකව පවත්වාගෙන යනු ලබන අතර අනෙකුත් රජයේ නියෝජිතායතන සඳහා ඒවා වෙත ප්‍රවේශය ලබා නොදෙන අතර ඒ අනුව ප්‍රයත්න, කාලය හා පිරිවැය ද්විකරණයක් සිදු වේ. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම පිළිබඳ ඒකාබද්ධ මූලික තොරතුරු පද්ධතියක් ගොඩනංවමින්, ජීවන සිදුවීම්වල කාර්යක්ෂම හා විශ්වාසවන්ත ලියාපදිංචි කිරීම් පද්ධතියක් නිර්මාණය කරමින්, ජනගහන රෙජිස්ටරය භාවිතා කරමින් රජයේ ආයතන සමග තොරතුරු බෙදාහදා ගැනීම ඉහළ නංවමින්, ජනවිකාසමය හා සෞඛ්‍ය සංඛ්‍යාලේඛනවලට අදාළ වඩා විස්තීරණ විශ්ලේෂණාත්මක හැකියා සපයමින් හා ජීවන සිදුවීම් වාර්තාකරණයේ ආවරණය ඉහළ නංවමින් සියලු පුරවැසියන් සඳහා උපතේදී පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් නිකුත් කිරීමේ අරමුණ ඇතිව ‘ඉ -ජනගහණය’ හඳුන්වා දෙනු ලැබේ. ‘ඉ -ජනගහණ’ පද්ධතිය මෙම අරමුණු සපුරාලමින්, දෙමව්පියන්ගේ තහවුරු කිරීමෙන් දත්තවල නිරවද්‍යභාවය සහතික කරයි, ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සහතික පිළිබඳව සොයා බලා පිටපත් නිකුත් කිරීම සිදුකරයි, පරිවර්තනවල අවශ්‍යතාවය අඩුකරයි, පුරවැසියන්ගේ වත්මන් තොරතුරු පවත්වා ගනියි, ආයතන අතර පුරවැසියන් පිළිබඳ තොරතුරු බෙදා හදා ගනියි.ඉ-ජනගහණය ව්යාපෘතිය
1951 අංක 17 දරන උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ප්‍රතිපාදන පවතිනුයේ උපතක් හෝ මරණයක් අතින් ලියා ලියාපදිංචි කිරීම් සඳහා වේ. නමුත් උපතක් හෝ මරණයක් අතින් ලිවීමේදී අත් අකුරු දෝෂ , ලිඛිත දෝෂ බොහෝ උප්පැන්න හා මරණ සහතිකවල දක්නට ලැබේ. එසේම විශේෂයෙන් උප්පැන්න සහතිකයක සංශෝධනයක් සිදු කිරිමෙන් පසුව එම සංශෝධනය සහතිකයේ දෘශ්‍යමාන වීම සහතිකය අත දරන්නාට බොහෝවිට පීඩාකාරී අත්දැකීමක් ද වේ.එසේම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ තොරතුරු දත්ත පද්ධතියක සටහන්ව නොමැති වීම නිසා උපත්, විවාහ හා මරණ තොරතුරු හුවමාරු කර ගැනීමේ කාර්යයන් වලදී වැඩි වශයෙන් කාලය හා ශ්‍රමය යෙදවීමට සිදුවන අතර එම තොරතුරු හරහා නිසි ප්‍රයෝජනයක් ගැනීමට ඇති හැකියාව ඇහිරී ගොස් තිබේ.
මෙම කාරණා මුල් කරගෙන ආරම්භ කරන ලද රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ සිවිල් ලියාපදිංචි කිරීම සම්බන්ධ තොරතුරු හා යාවත්කාලීන තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ තාක්ෂණික මග පෙන්වීම යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඉ-ජනගහන ලේඛන වැඩසටහන සකස් කිරීමට ආරම්භ කර ඇත.
ක්‍රියාත්මක වන අයුරු
උපතක් ලියාපදිංචි කිරීමේ දී දෙමාපියන්ගෙන් භාර ගන්නා ප්‍රකාශ පත්‍රයේ ඇති තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයේ නිලධාරීන් විසින් ඉ-ජනගහණ ලේඛන පද්ධතියට ඇතුළත් කිරීම සිදු කරයි. එම ඇතුළත් කරන ලද තොරතුරු අඩංගු දත්ත පත්‍රිකාවක් දෙමාපියන් වෙතට යවා තහවුරු කර ගැනීම සිදු කරයි. ඉන්පසුව දත්ත පද්ධතිය හරහා පුද්ගලයාගේ ශ්‍රී ලංකා අනන්‍යතා අංකය / මගේ අංකය සහිත ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීම සිදු කරනු ලැබේ. මෙම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය / මගේ අංකය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනීම සිදු කරනු ලැබේ.මෙම දත්ත පද්ධතිය හරහා නිකුත් කිරීමට නියමිත ජාතික උප්පැන්න සහතිකයේ අඩංගු වන විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.
- සෑම උපතක් සඳහාම “මගේ අංකය” ලෙසින් ඒකීය අනන්‍යතා අංකයක් ලබා දෙන අතර එය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී ජනනය කරන බැවින් ඉදිරියේ දී එම අංකය ජාතික හැඳුනුම්පත් අංකය ලෙසින් භාවිත කිරීමට ද හැකියාව ලැබීම.
- මෙම සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් වන බැවින් ජාතික උප්පැන්න සහතිකයක් ලෙසින් නම් කිරීම.
- මෙම උප්පැන්න සහතිකය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කරන බැවින් ජාත්‍යන්තරව භාවිතා කිරීමට හැකි වීම.
- සහතිකයේ ක්ෂණික ප්‍රතිචාර කේතයක් ඇතුළත් බැවින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම /විකෘති කිරීම ද වැළකීම.
- විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ කඩදාසියක මුද්‍රණය කරන බැවින් වැඩි පිළිගැනීමක් ලැබීම.
ඒ අනුව නිල වශයෙන් සහතික කරන ලද සහ යාවත්කාලීන පුරවැසි තොරතුරු පද්ධතියක් පවත්වා ගැනීම තුළින් ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ට අදාළව ජනගහන ලේඛනයක් ගොඩනැගෙන අතර එම තොරතුරු රාජ්‍ය ආයතන අතර හුවමාරු කර ගැනීමට හැකියාව ලැබෙන බැවින් එමඟින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු වනු ඇත.