දික්කසාද ලබා ගැනීම
සාමාන්‍ය විවාහ නිතිය යටතේ විවාහයක් දික්කසාද කිරීම
මෙම කාර්යය සම්පුර්යෙන්ම අධිකරණ ක්රියාමාර්ගයකි. නීතීඥවරයකු හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි.
උඩරට විවාහයක් දික්කසාද කිරීම
අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- අයදුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචි නම් පදිංචි ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත.
- අයඳුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචි නොවන්නේ නම්, වගඋත්තරකරු උඩරට ප්‍රදේශයක පදිංචිව සිටින්නේ නම් එම කොට්ඨාශය අයත් ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත හෝ විවාහය ලියාපදිංචි කර ඇති කොට්ඨාශය අයත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත.
- දෙපාර්ශවයම උඩරට ප්‍රදේශයෙන් පිටත පදිංචිව සිටින්නේ නම් විවාහය ලියාපදිංචි කරන ලද කොට්ඨාශය අයත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත.
දික්කසාදය ඉල්ලුම් කිරීම සඳහා අයදුම් පත්‍රය දිස්ත්‍රික් රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- උඩරට විවාහ සහතිකය
- පැමිණිල්ල තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි ඇත්නම්
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් දෙපාර්ශවය විමර්ශන කටයුතු සඳහා කැඳවනු ලබයි.
ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු තහවුරු වේ නම් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් දික්කසාද නියෝගය නිකුත් කරයි. නැතිනම් දික්කසාද කිරීම ප්‍රතික්ශේප කරයි.
- දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් දෙනු ලබන තීන්දුව පිළිනොගන්නේ නම්, දින 30 ක් ඇතුලතදී අතෘප්තිමත් පාර්ශවය විසින් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් අදාළ අභියාචනය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අතර අධිකරණ නියෝගය අනුව ඉදිරි කටයුතු කරයි.
මුස්ලිම් විවාහයක් දික්කසාද කිරීම
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ සිදු කරන ලද විවාහයක් දික්කසාද කිරීමට ස්ත්‍රීය හෝ ප්රුරුෂයා විසින් අධිකරණ අමාත්‍යාංශය මගින් තම බල ප්‍රදේශය සඳහා පත් කර ඇති ක්වාසිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. (1951 අංක 13 දරන මුස්ලිම් විවාහ දික්කසාද පනත 115 අධිකාරය බලන්න)
දික්කසාද සහතිකය ලබා ගැනීම
උඩරට විවාහ දික්කසාද සහතිකය ලබා ගැනීම
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් ලබාදෙන දික්කසාද තීන්දුව සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් නොවන්නේ නම් (තීන්දුව ලබා දී දින 30 ක් ඇතුලත) අභියාචනා කාලය අවසන් වු විට දික්කසාද සහතිකය ස්ත්‍රී පාර්ශවය වෙත ලබා දෙයි.
දික්කසාදය පිළිබඳව දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ තීරණයට එරෙහිව අභියාචනා කර ඇත්නම් අධිකරණ නියෝගය අනුව දික්කසාද සහතිකය අදාල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කෙරේ.
මුස්ලිම් විවාහ දික්කසාද සහතිකය ලබා ගැනීම
විවාහය දික්කසාද කරන අවස්ථාවේ නොමිලේ පිටපතක් අදාල ස්ත්‍රී පාර්ශවයට ක්වාසිවරයා විසින් නිකුත් කරනු ලබන අතර තවත් පිටපත් අවශ්‍ය වන්නේ නම් ක්වාසිවරයාගේ බල ප්‍රදේශයට අයත් ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කොට සහතික පිටපත් ලබා ගත හැකිය.