Accessibility Tools

Information Icon

යම් තැනැත්තෙකු වෙනුවෙන් ඔහුව නියෝජනය කිරිමට, යම් කාර්යයක් ඉටුකිරීමට, ක්‍රියාවක් කිරීමට හෝ යම් වෙළදාමක් හෝ ව්‍යාපාරයක් කරගෙන යාමට එවැනි තැනැත්තෙකු විසින් තවත් තැනැත්තෙකුට බලය දිම සදහා ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කරගත හැක. ශ්‍රි ලංකාව තුල හෝ වෙනත් යම් රටක අත්සන් කරන සෑම ඇටෝර්නි බලපත්‍රයක්ම මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

ශ්‍රි ලංකා‍වේදී ලියා අත්සන් කරන ලද්දක් නම් අත්සන් කරන ලද දින සිට එක් මාසයක කාලයක් ඇතුලතද, ශ්‍රී ලංකාවෙන් පිටතදී ලියා අත්සන් කරන ලද්දක් නම් අත්සන් කරන ලද දින සිට මාස 03 ක කාලයක් ඇතුළත ද ලියාපදිංචිය සඳහා මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

1902 අංක 04 දරණ ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත අනුව ලියා සහතික කරන ලද දේශීය හා විදේශීය ඇටෝර්නි බලපත්‍ර, ඇටෝර්නි බලකරුගේ පදිංචි ලිපින නොසලකා ඕනෑම කලාප කාර්යාලයක හෝ දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයකට ලියාපදිංචිය සදහා ඉදිරිපත් කල හැක.

2022 අංක 28 දරණ ඇටෝර්නි බලපත්‍ර සංශෝධන පනත අනුව ශ්‍රි ලංකාව තුලදි ලියා අත්සන් කරන විට සාක්ෂි කරුවන් දෙදෙනෙකු ඉදිරියේ ප්‍රසිද්ධ නොතාරිස් වරයෙකු විසින් ලියා සහතික කල යුතුය.

ශ්‍රි ලංකාවෙන් පිටතදි ලියා අත්සන් කරන විට සාක්ෂි කරුවන් දෙදෙනෙකු ඉදිරියේ සහ තානාපතිවරයෙකු හෝ මහකොමසාරිස්වරයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකු හෝ කොන්සල් නිළධාරියෙකු හෝ එම රටේ නීතිය අනුව ඇටෝර්නි බලපත්‍රයක් ලියා සහතික කිරිමට බලය ලබා ඇති යම් තැනැත්තෙකු ඉදිරියේ ලියා අත්සන් කල යුතුය.

ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි,

  • ඇටෝර්නි බලපත්‍රයේ මුල් පිටපත
  • ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද ඇටෝර්නි බලපත්‍රයේ පිටපතක්
  • 2022 අංක 28 දරණ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනතේ, උපලේඛනයේ දක්වා ඇති පරිදි දිවුරුම් ප්‍රකාශය
  • ඇටෝර්නි බලපත්‍රයේ ප්‍රදානකරුගේ හා ලැබුම්කරුගේ ජාතික හැදුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ නොතාරිස්වරයා විසින් සහතික කල පිටපත
  • විදේශයකදි ලියා සහතික කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් නම් ප්‍රදානකරු විසින්ම සහතික (අත්සන්) කරන ලද ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව පිටුවේ පිටපතක්